2/19/20

ඔයා ගොඩක් වෙනස් වෙලා

කම්බුල් පිරිලා
අතපය පාට වෙලා
කන්පෙති ලා දළු වගේ වෙලා
ඉස්සරත් එහෙමයි
ඒත් ඔයා ගොඩක් වෙනස්  වෙලා

කටහඩ සුමුදු වෙලා
හුස්මත් උණුසුම් වෙලා
සුවදත් මිහිරි වෙලා
ඉස්සරත් එහෙමයි
ඒත් ඔයා ගොඩක් වෙනස්  වෙලා

ඇවිදිනකොට හරිම සුන්දරයි
කතා කරනකොට හරිම මිහිරියි
බලනකොට හරිම කරුණාවයි
ඉස්සරත් එහෙමයි
ඒත් ඔයා ගොඩක් වෙනස්  වෙලා

අද අම්මිගේ උපන්දිනේ
දූ ඉක්මනට ලොකු වෙන්න
චුටි දූ ආවට පස්සේ
අම්මි ගොඩක් හැඩ වෙලා 

5/13/19

ඌවපරණගම ඛේදවාචකය

ඌවපරණගම යනු ලංකාවටම එළවලු නිෂ්පාදනය කරන ප්‍රදේශයකි. මෙම එළවලු වගා කරන ගොවීන්  මුළුමනින්ම පාහේ සිංහළුන්ය. නමුත් එම ගොවීන් තම නිෂ්පාදන අලවි කිරිමේදී කාලාංතරයක් තිස්සේ අසීමිත ලෙස අසාධාරණයට ලක් වෙමින් සිටී. මේ පිළිබද පුළුල් පැහැදිළි කිරීමක් මා සතු වුවද ඒ සියල්ල මුළුමනින් සදහන් නොකර උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. 

ඔබගේ ගැනුම් මිල:

ඔබ මෑත ඉතිහාසයේ ඕනෑම එළවළු වර්ගයක් මිලදී ගන්නා සාමාන්‍ය මිල 250g ක් රු. 40 යි (1Kg 1ක් රු 160 යි). නිවසට එළවලු මිලදී ගන්න බොහොමයක් මා සමඟ එකඟ වනු ඇත.

ගොවීන්ගේ විකුණුම් මිල:

ඔබගේ අනුමානය පරිදි, 250 ක් රු 40 ක් වන්නටනම්, ගොවීන් උපයන මුදල කීයක් වන්නට ඇත්ද ?

1Kg ක් රු 140 ක්
1Kg ක් රු 130 ක්
1Kg ක් රු 120 ක්
1Kg ක් රු 100 ක්
1Kg ක් රු 90 ක්
1Kg ක් රු 70 ක්
1Kg ක් රු 50 ක්.
නැත.

ගොවීන් තම ඔනෑම එළවළු වර්ගයක් රු 50 ට වඩා අධික මිලකට විකුනාගන්නේ ඉතා කලාතුරකිණි. අභාග්‍ය නම් ඔවුන් බොහෝ විට තම එළවලු රු 2, රු 5 වැනි කුණුම කුණු කොල්ලයටද විකිණීමයි. ඔබට මේ ඛේදවාචකය තේරුම් ගැනීමට එම උදාහරණය ප්‍රමාණවත් යැයි මම සිතමි.
ඌවපරණගම යනු ලංකාවේ එළවළු පරිභෝජනයෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් සපුරාලන ප්‍රදේශයකි. මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන ආහාර ද්‍රව්‍ය සපයන්නකු වුවත්, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා දර්ශක වල පහළින්ම මෙම ප්‍රදේශය පිහිටීම පුදුමයට කරුණකි. ඌවපරණගම පමණක් නොව, ලංකාව පුරා ගොවීන්ගේ අභාග්‍යසම්පන්න ඉරණම එයයි.


මා ඌවපරණගම ප්‍රදේශයේ ඉපිද, අදවනවිට මා හැදෑරූ අධ්‍යාපනයට සරිලන රැකියාවක් කරමින් කොලඹ ප්‍රදේශයේ වාසය කරයි. මා කුඩා කල ගොවිතැන් කිරීමට සහාය දී ඇත. මගේ දෙමාපියන්, නෑදෑයන්, ගංවාසීන් තවමත් ගොවිතැන් කරයි. මා අද වනවිට පාරිබෝගිකයකු ලෙස අහිංසක ගොවීන්ගේ නිෂ්පාදන කොළඹ සිට මිලදී ගනියි. මේ සම්පූරණ ඛේදවාචකයයේ ආරම්භක හා අවසාන පුරුක් දෙකම මා හොදින්ම දනී.

මෙය මා ජිවිතයට එක් කරගත් අභියෝගයකි. මෙම අහස පොලොව නොඋහුලන අසාධාරණය කෙලවරකින් පටන් ගෙන විසදාලීම. මෙය මා විසින් නොවිසිදුවද කිසිවකු විසින් හෝ විසදාලීම දැකීම පවා මට ඉමහත් සතුටට තුඩු දෙන කරුණකි. මෙයට ඇත්තේ ව්‍යාපාරික විසදුමකි. මා එම අබියෝගය ජය ගන්නා තෙක් කිසිවකුට එම අහිංසක මිනිසුන්ට සාධාරණයක් කිරීමට අවස්තාව ලබාදීමට මම මේ සටහන තබමි. 

3/20/19

බෙන්ස් ලොරිය

"නැගපිය"

"නැගපිය බල්ලෝ"

    උඩු දත් ඇන්දෙන් දණහිස හපමින්  හිටි ගැටයා ලොරියේ රෝදය මුල වකගැසීගෙන හති දමයි. දෙවන ගෝරණාඩුවෙන් පසු, මුහුණ නොවුස්සා, ඇස් පමණක් හරවා ඇහිබැමට යටින් උඩ බැලීය. තම හිස අසලටම පාත්වී ඇති නපුරාට, ඝණට වැඩී, දෙකොනෙන් ඉහලට කරකැවී ඇති, උඩු රැවුලකි. ගැටයා ඇසිල්ලකින් පෙරළා බිම බැලීමට මත්තෙන් තම උඩු ඇසිපිල්ලම් අග දිලිහෙන කඳුළු බිඳු දැකගත්තේය.

    මිට මොලාවාගත් දෙඅතින් දෙකම්බුල් වහගත්තේ, තත්පර කිහිපයක නිහැඩියාවෙන් පසු රැවුලා තම කම්බුල් පලන බව ඉවෙන් මෙන් හැගුණු හෙයිණි. තවදුරටත් බිම ඇණ නොයිද ගැටයා යකඩ රිම්  එකේ ඇතිල්ලෙමින් නැගී සිටියේය. රැවුලා තවමත් බිම හිදගෙන තමා දෙස පුපුරමින් බලාසිටී. පැණ යන්නට ඔනෑ තරම් ඉඩ ඇත.

    ලොරිය නවතා, පොල් වත්ත මැද්දෙන් පසුපස පන්නා, කුදලාගෙන අවුත් ලොරියේ එක් රෝදයක් පාමුළ මොහොතකට පෙර පතබෑවා පමණකි. නැවතත් පැන දිවයන්නට සිතීමත් මෝඩකමකි. ලොරියට නඟින ලෙස රැවුලා අණකළ කාරිය පිළිබදවද ගැටයාගේ හිතේ කොණක කුකුසකි. රැවුලා නැගීසිටීමට මත්තෙන් ගැටයා ලොරියේ පඩිය නැග්ගේය.

    පුපුරමින් සිටි රැවුලාගේ මුවගට මඳ සිනහවක් නැඟෙනු ගැටයා නොදුටුවේය. විමසිල්ලෙන් බලන්නකුට හැර රැවුලා මඳ සිනහවක් පෑම හඳුනාගැනීමට කෙසේවත් අනෙකෙකුට නොහැක්කේය.

    බෙන්ස් ලොරියේ ඉදිරි වීදුරුව මැඳින්, දෙකට බෙදා තිබුණි. රැවුලා නැඟීසිට වරක් දකුණු උරයට ඉහළින් පොල් වත්ත දෙස හැරී නැවත වම් උරය දෙසට හැරී රියදුරු අසුනට ගමන් අරඹනු ගැටයා වීදුරුවෙන් බලා හිඳී. බොනට් එකට ඉහලින් රැවුලාගේ මනාව වම් පසට පීරූ කොණ්ඩයේ සෑදී ඇති රැල්ල ගැටයා දුටුවේය. රැවුලා ලොරියට ගොඩවුණු ඇසිල්ලෙන්ම බරාස්, බරාස්, බරාස් ගා, මෙතෙක් වේලා ගැහෙමින් සිටි බෙන්ස් ලොරිය රේස් කළේය. තැතිගෙන සිටින්නකුට මේ රේස් කිරිල්ලනම් තිගැස්මට හේතුවක්මය.

බියට පත්ව සිටි ගැටයා දෙස නොලැබූ රැවුලා,

"යමං"

   යනුවෙන් බැරෑරුම්ව කියා, ලොරිය ඉදිරියට යන්නට ඉඩ හැරියේය. ඉන්පසුව එළබුණු විණාඩි කිහිපයේ ලොරි එන්ජිම හැර කිසිවක් මීක් ගෑවේ නැත. ගැටයා එක එල්ලේ වීදුරුවෙන් ඉදිරිය බලා සිටියද, රැවුලගේ හිසනම් විටෙක ඉදිරියද, තව විටෙක රියදුරු දොරෙන් එලියද, එසැනින්ම උස පොල් ගස් මුඳුනේ ඇති පොල් ගෙඩි දෙසද, ඉඳ හිට ගැටයා දෙසද කැරකුණි.   

"තෝ මොකද බල්ලො මං දැකළ දිව්වෙ"

    රැවුලා නිහැඬියාව බින්දේ ගැටයා නොසිතූ වෙලාවකය. එනමුත් ගැටයා මෙවර තිගැස්සුනේ නැත. උත්තතරයක් දීමටද උනන්දුවක් දැක්වූයේ නැත.  ගැටයා නිසොල්මනේ ඉදිරියම බලා සිටියේ, ඔහු අහක බැලුවහොත් ලොරිය දෙපසැති කාණුවකට රොක්වී යතැයි ඇති බියට යැයි, ඔහු දෙස බලන කිසිවකුට හිතේ. 

    රැවුලා ලොරිය පදවන ආකාරය පිළිවලය. දෙයතින්ම සුක්කානමේ ඉහලම කොටසින් අල්ලා සිටින ආකාරයට ඔහුගේ දෙයත්ම ඇත්තේ නිතරම දිග ඇරීගෙනය. වංගුවක් ගැනීමට වූ විටෙක, දෙයත්ම වංගුව දෙසට කරකවණුයේ කතක් කුරහං ගල අඹරවන ආකාරයටමය.පොල් වත්ත මැඳින් ඇති පාරේ වැඩිපුරම නැත්තේ වංගුය. ජියර් මාරු කරනුයේ කලාතුරකිණි.  එහෙයින් රැවුලාගේ වම් කකුල සැමවිටම පාහේ තබා සිටීමට කෙටි කොට කැබැල්ලක් ඔහු අසලින්ම ඇත.

    ගැටයාගේ  කොණ්ඩය බොකුටුය. දෙතුන් අවුරුද්දක් නොකැපුවා සේ කොණ්ඩය බූස්සේට වැවී ඇත්තේ කළු ගලක් සේය. හරහට ඉරි ඇති, බොර පැහැ සරමක් ඇඳ සිටියද, නිරාවර්ණය වූ උඩු කයකි. යකඩ රිම් එකේ ඇතිල්ලුනු ආකාරයට පිට සීරී ඇති බවනම් නොවනුමානය. මොහුනම ගෙදරින් දඹරව පැමිණියෙකැයි, ඉහනිකට පැහී ඇති රැවුලාට සිතීමටනම් අපහසු නැත. මෙවැන්නෙක් ලොරියේ දමාගෙන යාමට රැවුලාට ඇති උවමනාවනම් තවමත් කුකුසකි.

    ලොරිය සෙමෙන් ඉදිරියට ඇදෙයි. පොල් වත්ත මැදින් ඇති අඩි පාරකින් ඇවිද අවුත් බොරළු පාරට ගොඩවන කතුන් කීපයකි.  බාල වයසැති කෙටි සරම් කොට ඇඳි ළමුන් දෙදෙනකුද ඒ අතර වෙති. ඔවුන් අර එක් කතකගේ පොඩි එවුන් බව කීමට අපහසු නැත. ඈත සිටම ලොරිය එනු දැන නොසිටියා විය නොහැක. පොල් වත්ත දෙවනත් කරන බෙන්ස් එන්ජිමේ හඬ සැවොම හොදින් දනිති. ලොරිය ලං වත්ම කතුන් රියදුරාට යටහත් බවක් පෙන්වීය. පොඩිවුන් දෙදෙන පස්සා කසමින්, ඇඹරෙමින් සිටියද, ලොරිය ඔවුන් පසුකර ගිය විගස, ලොරිය පිටුපස දුවන්නට පටන් ගත්තෝය.

    ගැටයා ප්‍රථම වරට හිස හරවා බැලීය. කතුන් රැළ පසුවත්ම, ගැටය ඒ අතර සිටි රත් පැහැ පොත්තක් හිමි කතක් දෙස වැඩිපුර බලනු රැවුලා දුටුවේය. ගැටයා ඒ බවක් නොදන්නවා වුවද විගසින් ඇස් අහකට ගෙන පොඩිවුන් දෙස බලන්නට පටන් ගත්තේය. දොරෙන් එළියටද එබී උන් දෙස බලා නැවත හැරී වාඩිවීය.

    ඉදිරි වීදුරුවේ ඉහළින් "සාමෙල්" යනුවෙන් පිංතාරුකර ඇත. ඇතුළත සිට බළන කල එය කියවීම් අකුරු දන්නකුට අපහසු නොවේ. අනෙකේ "බුදු සරණයි" යනුවෙන් පිංතාරුකර ඇත.

"ඕකුං ඉස්සර මං එනකොට දුවනවා"

"තෝ වගේමයි"

    එය ඇසූ ගැටයාට, ඒ කතුණුත් වත්තේ පොල් හොරකන් කළ අයයැයි තේරුම් ගැනීමට අපහාසු නොවීය.

    ගෙදරින් පැනවුත් පසුගිය දින දෙක තුනේම හොරෙන් පොල්ගෙඩි බා, කෑ බව සාමෙල් දන්නේදැයි සිහියට එන විට ගැටයාට හීන්දාඩිය දාන්නට විය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් සාමෙල් නැවත හඬ අවදි කළේය. 

"මේ මුලු ගමේම උං හොර පොල් කෑවත්, මට මේ වත්තෙ පොල් මදි නෑ බං"

"මං දැං ඕකුංගෙ පස්සෙ පන්නන්නෙ නෑ."

    ගැටයාට සාමෙල්ගේ ඒ වචන ටිකනම් සහනයක්ම විය. සෑම විටම සුදු කමිසයක් බැනියමක් රහිතව අඳින සාමෙල්, ඉරි සරමකට එය යට කර, බඩ මැඳින් පටියක් බඳී. ගමේ අනෙකුන්ගෙන් වෙනස් මොහු අහල ගං හතේම උන් දන්නේ සාමෙල් මුදලාලි යනුවෙනි. 

    දැං දැං ගැටයා දෙපස බලමින් යාමට පටන්ගෙනය. ඉඳ හිට සාමෙල් මුදලාලි දෙසද බලයි. වැඩි වෙලාවක් ඔහු දෙස බලා නොහිදිනුයේ, සාමෙල් මුදලාලි පෙරළා තමා දෙස නොබැලුවද, තාමා ඔහු දෙස බලනා බැවු සාමෙල් මුදලාලි දන්නා බව ගැටයාට හැඟුනු නිසාය. තාමා ලොරියේ දමාගත් කාරණය මුදලාලිගෙන් ඇසීමට සිත දුන්නද, එය වචන කිරීමට දිව ඉඩ  දුන්නේ නැත.

"තෝ කැමති කළු ගෑණුන්ටද ? රතු එවුන්ටද ?"

    තවමත් හඬ අවදි නොකළ ගැටයා, මෙයද උත්තර දිව යුතු ප්‍රශ්නයකැයි නොසිතුවේය. නමුත් ගැටයා මුල් වරට මඳ සිනා පා බිම බලාගත්තේය.


"කවරෙ හාරනේක නවත්තපිය බල්ලො"

    සාමෙල් මුදලාලිට නැවත කේන්ති ගිය සෙයකි. එසැනින් පුටු කවරය හාරමින් හිටි ගැටයාගේ දඹරගිල්ල එළියට ගත්තේය. සාමෙල් මුදලාලි එය කියූ විගස එළියේ ඇති පොල් ගෙඩි විපරම් කළ ආකාරයට, එය එතරම් දුර දිග යන කේන්තියක් නොවන බව හැඟුනි. 

    ලොරිය ගමනාන්තයකට එළඹුනු සෙයකි. කෙළින්ම දිවෙන බොරළු පාර කෙරවළ වලව්වක හැඩ හුරුකම් ඇති ගෙයක් පොඩිවට පෙනේ. වලව්වට මත්තෙන්, පොල් වත්ත මැද්දෙන් ගලා බසින දොල පාරක්, බොරළු පාරද හරහා යයි. පාරේ මට්ටමට ඉහළින් ඇති පාලමක් ඒ හරහා යන්නට දමා ඇත. පාලම ලං වත්ම ලොරියේ වේගය මදක් වැඩි වූයේ, තරමක කංඩිය නැගීමටය. කංඩිය නැගි විගස සාමෙල් මුදලාලිගේ කකුල් දෙකම එකවර පහලට තද කරණු ගැටයා දුටුවේය. එසැනින්ම මුදලාලිගේ එක අතක් ජියර් පොල්ලට ගිය අතර, ජියරය ක්ෂණයෙන් මාරු කරණු ගැටයා බලා සිටියේය. මෙතරම් වෙලා "බර බර බර බර" ගාමින් සිටි එන්ජිම එක වර නැවතුනු ගානට නිශ්ශබ්ද වී, මුදලාලිගේ වම් කකුල නැවත උඩට එත්ම බරාස් ගා හඬ අවදි කරේය. නොදැනීම පාලම මුදුනට බෙන්ස් ලොරිය සැපත්වී ඇත. තත්පර කීපයකින් සිදුවූ මේ සිදුවීම බලාසිටි ගැටයාට මුල් වරට බෙන්ස් ලොරිය පැදවීමට ආසාවක් ඒම අරුමයක් නොවේ.

    ලොරිය නිශ්ශබ්ද වූ මොහොතේ ලොරියේ පිටුපස දාමා තිබූ පොල් ගෙඩි කීපයක්, පිටුපසටම රොක්වී යනු ඇසුනි. එවා එකවර විත් "ඩොග්" ගා ලොරියේ ඉදිරි අසුන පිටුපස බිත්තියේ වදින විට ගැටයා නැවත පියවි සිහියට පැමිණියේය.

වලව්වෙන් එළියට පනින් ගැටිස්සියන් දෙදෙනෙකි. පාලම උඩදී නැඟූ "බරාස්" ශබ්දය හොඳින් දන්නා සෙයකි. ගැටයාගේ වයසට දෙදෙනාම ආසන්න වශයෙන් සමාන විය හැක. සාමෙල් මුදලාලිගේ දෙදූවරුන් වන මොවුන්ගෙන් එකකු කළුය. අනෙක් ගැටිස්සීනම් රතුය. වලව්වේ මිදුලට ආ බෙන්ස් ලොරිය මිදුලේ කොණකැති දෙල් ගහ අසල නතර විය.

"තෝ මෙහෙ නැවතියං. බොගෙ නම මොකද්ද ?"

"බංඩ"

    ඒ බංඩාගේ පළමු වචනයයි. එන්ජිම නැවතූ සාමෙල් මුදලාලි ලොරියෙන් බැස්සේ පිටුපසටය.

"තෝ අද ඉදං ඇඩ්ඩිං"

    එසේ කී සාමෙල් මුදලාලි ලොරියෙන් ඉවතට හැරී තමා දෙසට උඩ පනිමින් එන දෙදූවරු දෙස බාලා, එසැනින් ආපසු හැරී,

"ඇඩ්ඩිං, මට මාම කියපිය"

    කීවේය.


9/8/14

මොකද බොල කිතුලේ














අවාරෙට කිතුලේ                            ගිය
අන්දරේ විමසන                            ලෙද
මොකද බොල කිතුලේ                      හිඳ
මගේ හැලියේ රා                         හොඳද ?

හැලියෙ රා ටික                           පල්ලා
මුසාවක් නෑ                              තෙපලා
කිතුලේ මං                               නැඟලා
බීවෙ නෑ රා ටික                        පෙරාලා

මගේ නාඹර                ගොනා
ගන් ගොඩැල්ලේ          දුවනා
කවුරුත් දන්න              එතනා
ගම හැම තැනම            බඳිනා

ගමේ තණ ටික              බුදලා
බුදි විගසටම                දිරවලා
ගාලෙන් පැනල             දුවලා
දබරෙන් කෝලම්           කළා

මෙහි තණ නොමැත              ඇත්තේ
හොයන්නට විගස                  ගත්තේ
එපිට ගම්                                පැත්තේ
නැතිද තණ හෙම දෙවැට     පැත්තේ 

අවට නැත කඳු                           වැටියක්
උස පොල් ගස් එහෙම                හිටියත්
නගින්නට හැකි                           විදිහක්
හොයන්නට හෙම නොහැක     විදිහක් 

ගමරාළගේ                  කිතුලේ
වරපට බැඳල                විපුලේ
මක්කටැයි ඇවටිලි        කළේ
හනික මං                    කිතුලේ

ගං හත අටක්                       එහා
බැලිය හැකිනොවැ            මනා
නිල්ලක තණ                ලියලනා
විගස යමි මම ගොනා      හඬනා

2/15/13

කොකාගේ වාරය



කාලෙන් කාලෙට, උඹ එක එක කොක්කුන්ට යාළු වුනා,
සමහර වෙලාවට උඹ ඒ කොක්කු එක්ක එකතුවෙලා මට කොජොක් කරනව,
සමහර කොක්කු උඹව දාල ගියා, සමහර කොක්කුන්ට උඹ පයින් ගැහුව,
මම පැත්තකට වෙලා මගේ වාරෙ එනකම් උඹ දිහා බලාගෙන හිටියා,
කවුරුත් නැතිකොට, උඹ මට, මහ දවල් හද පෙන්නන කථා කරනව,
මම මැරීගෙන උඩ බලාගෙන ඉන්නකොට උඹ ආයෙම කොකෙක් හොයාගෙන,
මට පස්සෙ තේරුම් යනව මාස පොය දවසට, දවල්ට හඳ පායන්නෙ නෑ කියල,
උඹනම් මාර කෙකියෙක්...

2/8/13

අඩුද වින්දේ, ආදර සැනසුම බොලා

මීදුම් රොදේ වැහි බර වැඩි වූවාම,
ගිඟුරුම්, විදුලි අඩු නැත මීදුම සේම,
සුදු, මෘදු, සිතෙහි රළු කටරළු පිපුනාම,
මා අමතකද පෙම් කළ, මහ මෙර සේම.

දිනකි වින්ඳේ කිසගිණි, නුඹ කුස පුරවා,
සැමදා නින්දේ, නුඹ සාගිණි, දුක නිවලා,
වෙරකි ගත්තේ, යන්නට ඉදිරිය බලලා,
අඩුද වින්දේ, ආදර සැනසුම බොලා.

මගෙ සොඳ ගුණ ඇතත්, නුඹ හට එය නිච්චි නැත,
නැතිනම් නරක ගුණ වල බර අඩු නොමැත,
හොඳ හැටි ගනින් මෙ දෙක විමසා හිතට,
කබරය තලගොයා වූවද මැණිකෙ බොට.

ඉන්ට නොහැකිනම් එක සිත් දරාගෙන,
යන්ට ඕනිනම් සැනසුම හොයාගෙන,
අඩු නැත එහෙත් අඩු නම් සැනසුම මෙතැන,
පලයන් යන්න මා ඉන්නම් දරාගෙන.

7/15/12

අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබව කරනවා.


     හේ මහා අධර්මිෂ්ඨ, පපී, දුෂ්ඨ, සතුරු රටක පාලකයෙකි. ඒ මා, අද කතාවේ කතානායක, සිරිලක විසූ ඒ මහා නිරිඳානන් පිළිබඳව දරණා මතය නොව. ඒ මා, මගේ රට රජකම් කළ ඒ මහා නිරිඳානන් ගැන, රෑ නින්දෙන් වහරන වලම මූත්‍රා පිටවීමවත් හරිහැටි නොතේරෙන අවදියේදී, මුල් වරට ඇසූ ආකාරයයි. රූප පෙට්ටියේ විකාශය වූ ඒ වෘත්තාන්තයට මා කෙතරම් ලොල් වීද යත්, සතියක් නොඉවසා බලා සිඳ, මවටත්, පියාටත් හොරෙන් වහලයට නැඟ, රූප පෙනෙන මානයකට ඇන්ටනාව හරවා ගන්නේ මහත් වූ අයාසයකිනි. එත් අරුමය නම්, රාවණා රජු සතුරන් පරදා ලක්දිව ජයගන්නවා බැලීමටනම් නොව. රාමාට, රාවණා රජු පරදා, සීතා රැගෙන යාමට අදවත් හැකිවේදැයි බැලීමටය.

පාසල් යන්නට පටන්ගත් දා සිට ඔහු ගැන විමසන්නට හෝ, ඔහු ගැන සිතන්නටවත් ලැබුනේ, සීතාඑළිය හනුමා දේවාලය පසුකර යන විටක පමනි. මුල් වරට මා එකී හනුමා දේවාලය පසු කරමින් ඒ අසලින් බසයෙන් ගිය දිනක, පියා විසින් මා හට, එම ස්ථානයේ රාවණා රජු විසින් සීතාව රැගෙනවිත් සඟවා සිටි බවට පුරාවෘත්තය කීවා මතකය. එදින මා හට මුල්වරට, රාවණා අපේ රජෙකියි, අපේ එකා යකෙකියි, ඒකා වෙන රටකට ගෙහුන්, කුමරියක මෙහි දැහගෙන ඒමට පවා හපනෙකියි, කියා අඩම්බර කාර හැඟීමක් ආවා මතකය.

එදා මෙදා තුර මා හට රාවණා රජු ගැන, විමසන්නට ඇසිල්ලක්වත්, ඔහු ගැන නීත්‍යානුකූලව හැඳෑරීමට පාසල් පොතේ ඉඩහසරක්වත්, සොයාගන්නට නොතිබිණි. කොටියකු පිටුවස එනවිට දුවන මුව රැලක් සේ අකුරු කරන්නට දිව අවුත් එයින් ජයගෙන හුස්මක් කටක් ගත්තා පමණකි. රාවණා රජු ගැන වං හුං, කණින් කොනින්, සවනට, නෙතට වැටෙන්නට විය.

අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබ කරනවා. අහෝ පරයින්... තම වෙබ් පිටුවේ හිට් කව්න්ටරය වැඩිකර ගන්නට ඒ මහා නිරිඳාගේ දඬුමොණරය අනුබව කරනවා. අහෝ පරයින්... ඒ මහා නිරිඳා තුළ තිබූ නොතුබූ ගුණ අතික්ෂයොක්තියෙන්, අතාත්විකත්වයට ගෙනවුත් ඒ මහා නිරිඳා උසුළුවට, විසුළුවට ලක් කරනවා.

සමිද මම නුඹේ ගුණ ගය ගයා                   හිනහුනා සෙනේබර නුඹෙ නුවන් මා දිහා              යොමු උණා ඔබේ රුව ද...