මොකද බොල කිතුලේ

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /



අවාරෙට කිතුලේ    ගිය
අන්දරේ විමසන   ලෙද
මොකද බොල කිතුලේ   හිඳ
මගේ හැලියේ රා   හොඳද ?

හැලියෙ රා ටික     පල්ලා
මුසාවක් නෑ     තෙපලා
කිතුලේ මං     නැඟලා
බීවෙ නෑ රා ටික     පෙරාලා

මගේ නාඹර    ගොනා
ගන් ගොඩැල්ලේ     දුවනා
කවුරුත් දන්න     එතනා
ගම හැම තැනම     බඳිනා

ගමේ තණ ටික     බුදලා
බුදි විගසටම     දිරවලා
ගාලෙන් පැනල    දුවලා
දබරෙන් කෝලම්    කළා

මෙහි තණ නොමැත     ඇත්තේ
හොයන්නට විගස     ගත්තේ
එපිට ගම්     පැත්තෙ
නැතිද තණ හෙම දෙවැට     පැත්තේ 

අවට නැත කඳු     වැටියක්
උස පොල් ගස් එහෙම     හිටියත්
නගින්නට හැකි     විදිහක්
හොයන්නට හෙම නොහැක     විදිහක් 

ගමරාළගේ     කිතුලේ
වරපට බැඳල     විපුලේ
මක්කටැයි ඇවටිලි     කළේ
හනික මං    කිතුලේ

ගං හත අටක්     එහා
බැලිය හැකිනොවැ    මනා
නිල්ලක තණ     ලියලනා
විගස යමි මම ගොනා    හඬනා

කොකාගේ වාරය

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /



කාලෙන් කාලෙට, උඹ එක එක කොක්කුන්ට යාළු වුනා,
සමහර වෙලාවට උඹ ඒ කොක්කු එක්ක එකතුවෙලා මට කොජොක් කරනව,
සමහර කොක්කු උඹව දාල ගියා, සමහර කොක්කුන්ට උඹ පයින් ගැහුව,
මම පැත්තකට වෙලා මගේ වාරෙ එනකම් උඹ දිහා බලාගෙන හිටියා,
කවුරුත් නැතිකොට, උඹ මට, මහ දවල් හද පෙන්නන කථා කරනව,
මම මැරීගෙන උඩ බලාගෙන ඉන්නකොට උඹ ආයෙම කොකෙක් හොයාගෙන,
මට පස්සෙ තේරුම් යනව මාස පොය දවසට, දවල්ට හඳ පායන්නෙ නෑ කියල,
උඹනම් මාර කෙකියෙක්...

අඩුද වින්දේ, ආදර සැනසුම බොලා

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /

මීදුම් රොදේ වැහි බර වැඩි වූවාම,
ගිඟුරුම්, විදුලි අඩු නැත මීදුම සේම,
සුදු, මෘදු, සිතෙහි රළු කටරළු පිපුනාම,
මා අමතකද පෙම් කළ, මහ මෙර සේම.

දිනකි වින්ඳේ කිසගිණි, නුඹ කුස පුරවා,
සැමදා නින්දේ, නුඹ සාගිණි, දුක නිවලා,
වෙරකි ගත්තේ, යන්නට ඉදිරිය බලලා,
අඩුද වින්දේ, ආදර සැනසුම බොලා.

මගෙ සොඳ ගුණ ඇතත්, නුඹ හට එය නිච්චි නැත,
නැතිනම් නරක ගුණ වල බර අඩු නොමැත,
හොඳ හැටි ගනින් මෙ දෙක විමසා හිතට,
කබරය තලගොයා වූවද මැණිකෙ බොට.

ඉන්ට නොහැකිනම් එක සිත් දරාගෙන,
යන්ට ඕනිනම් සැනසුම හොයාගෙන,
අඩු නැත එහෙත් අඩු නම් සැනසුම මෙතැන,
පලයන් යන්න මා ඉන්නම් දරාගෙන.


අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබව කරනවා.

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /



     හේ මහා අධර්මිෂ්ඨ, පපී, දුෂ්ඨ, සතුරු රටක පාලකයෙකි. ඒ මා, අද කතාවේ කතානායක, සිරිලක විසූ ඒ මහා නිරිඳානන් පිළිබඳව දරණා මතය නොව. ඒ මා, මගේ රට රජකම් කළ ඒ මහා නිරිඳානන් ගැන, රෑ නින්දෙන් වහරන වලම මූත්‍රා පිටවීමවත් හරිහැටි නොතේරෙන අවදියේදී, මුල් වරට ඇසූ ආකාරයයි. රූප පෙට්ටියේ විකාශය වූ ඒ වෘත්තාන්තයට මා කෙතරම් ලොල් වීද යත්, සතියක් නොඉවසා බලා සිඳ, මවටත්, පියාටත් හොරෙන් වහලයට නැඟ, රූප පෙනෙන මානයකට ඇන්ටනාව හරවා ගන්නේ මහත් වූ අයාසයකිනි. එත් අරුමය නම්, රාවණා රජු සතුරන් පරදා ලක්දිව ජයගන්නවා බැලීමටනම් නොව. රාමාට, රාවණා රජු පරදා, සීතා රැගෙන යාමට අදවත් හැකිවේදැයි බැලීමටය.


පාසල් යන්නට පටන්ගත් දා සිට ඔහු ගැන විමසන්නට හෝ, ඔහු ගැන සිතන්නටවත් ලැබුනේ, සීතාඑළිය හනුමා දේවාලය පසුකර යන විටක පමනි. මුල් වරට මා එකී හනුමා දේවාලය පසු කරමින් ඒ අසලින් බසයෙන් ගිය දිනක, පියා විසින් මා හට, එම ස්ථානයේ රාවණා රජු විසින් සීතාව රැගෙනවිත් සඟවා සිටි බවට පුරාවෘත්තය කීවා මතකය. එදින මා හට මුල්වරට, රාවණා අපේ රජෙකියි, අපේ එකා යකෙකියි, ඒකා වෙන රටකට ගෙහුන්, කුමරියක මෙහි දැහගෙන ඒමට පවා හපනෙකියි, කියා අඩම්බර කාර හැඟීමක් ආවා මතකය.


එදා මෙදා තුර මා හට රාවණා රජු ගැන, විමසන්නට ඇසිල්ලක්වත්, ඔහු ගැන නීත්‍යානුකූලව හැඳෑරීමට පාසල් පොතේ ඉඩහසරක්වත්, සොයාගන්නට නොතිබිණි. කොටියකු පිටුවස එනවිට දුවන මුව රැලක් සේ අකුරු කරන්නට දිව අවුත් එයින් ජයගෙන හුස්මක් කටක් ගත්තා පමණකි. රාවණා රජු ගැන වං හුං, කණින් කොනින්, සවනට, නෙතට වැටෙන්නට විය.


අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබ කරනවා. අහෝ පරයින්... තම වෙබ් පිටුවේ හිට් කව්න්ටරය වැඩිකර ගන්නට ඒ මහා නිරිඳාගේ දඬුමොණරය අනුබව කරනවා. අහෝ පරයින්... ඒ මහා නිරිඳා තුළ තිබූ නොතුබූ ගුණ අතික්ෂයොක්තියෙන්, අතාත්විකත්වයට ගෙනවුත් ඒ මහා නිරිඳා උසුළුවට, විසුළුවට ලක් කරනවා.

පීතෲ මූලික...

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /


අප අවට පරිසරයේ සිටින ඕනෑම පිරිස් ඒකකයකට තම පැවැතම රදා පවත්වා ගැනීමට මනා නායකත්වයක් තිබිය යුතුය යන්න වන්දේ ලක් මෑණී සමඟ එකතුවන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මිනිසා පමනක් නොව සතා
සිව්පාවා පවා මෙකී මූලධමයට යටත් වන අතර බුදු බනේ පවා මේ බව සදහන්ව ඇත.

අප පවුල යනුවෙන් හදුනා ගන්නේද මෙවැනිම පිරිස් ඒකකයකි.මෙම පවුල යන ඒකකයේ වුවද යහ පවැත්ම රදා පවතින්නේ පවුල මත බලගැන්වෙන මනා නායකත්වය මතය. අද වන්දේ ලක් මැණී ඔබ වෙත කියනුයේ මෙකී නායකතවය පවුලට දෙන පීතෲ මූලිකත්වය පිළිබඳවය.

වර්ථමානය වන විට ලෝකය පුරා පවතින ආර්ථික පසුබිම මත ඒ ඒ රට වල පවුල් ඒකකය උඩුයටිකුරු වී අති බව සත්‍යයකි. මෙකී විපර්යයාසයේ විශාලතම ගොදුර බවට පත්ව අත්තේ ඇමරිකානු හා යුරෝපා රටවල්ය. මෙය කොතෙක් දුරට මෙම රට වලට බලපාද යත්, එම රට වල නීතියෙන් විවාහ ගිවිසගෙන අති ඇතැම් පවුල්, පවුලක් වීමට ඇති මූලික අවශ්‍යතාවය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකතුවීම යන අවශ්‍යතාවයවත් තෘප්ත නොකරයි. මෙලෙස බටහිර රටවල පවුල් ඒකකයට අති වී අති කළබැගෑනිය ඔබට මා තවදුරටත අමුතුවෙන් කිවයුතු නොවේ.

නමුත් පූරුවේ කල පිංවල ආනිසංසයෙන්, ආසියානුවෙකු වී ඉපඳුනු ආනුභාවයෙන්, ආසියාව පුරා තවමත් ස්ථාවරව විසිරී පැතිරී පවතින ආගමික පසුබිම හේතුවෙන්, ආසියානු පවුල් තවමත් බටහිර අංශහීනත්වයට පත් වූ පවුල් මෙන් පත් නොවී සවිමත්ව නැගීසිටී.

ආසියානු පවුල් ඒකකයේද බලතල බෙදී ගියේ අතීතයේ සිට පැවතුනු ආර්ථික පසුබිම මතය. ඒ අනුව පවුලේ ආර්ථිකය සවිමත් කළ පියාට පවුලේ ගෘහමූලිකත්වය හිමිවිය. ඒ අනුව පවුලේ තීරණ ගැනීම පිළිබදව විශාල බලයක් හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ විශාල ගෞරවයක් ඔහුට හිමි වී තිබිණි.

මෙකී ගෞරවය පියා පිළිබදව ළමුන් හමුවේ ගොඩ නැඟූ, මුළු ආසියානු සමාජයේම ගෞරවයට, පූජනීයත්වයට, පත් වූ උතුම් චරිතයක් මෙම ඒකකයේ සිටී. ඒ වෙන කවුරුත් නොව, නම අසූ පමණින් ඕනෑම ගොරහැඬි අළුගෝසුවකුගේ පවා හිත උනු වන මිහිපිට ජීවමාන දේවතාවිය අම්මාය. අම්මා සෑම විටකම ළමුන් තුළ පියා පිළිබදව බයක්, ගෞරවයක් අතිකිරීමට වගබලාගනී. ඇය කිසිවිටකත් මෙකී පාර්ශව දෙකට සෘජුව වාද විවාද කිරීමට ඉඩ නොදේ. සෑම විටකම මැදිහත් කරුවකුව දෙපාර්ශවයේම සීමාව ආරක්ෂා කරමින් දෙපාර්ශවයේම ගෞරවය සුරකී. මේ අනුව ඇය නිරායාසයෙන්ම පාර්ශව දෙක අතර සන්නිවේදන මාධ්‍යය බවට වත් වේ. තවද ළමුන් තම ඉල්ලීම් පියා වෙත ගෙන යන්නේද මව හරහාය. තවද පියා ළමුන්ට සෘජුව ආදරය නොදැක්වූ අතර, තමා තුල ළමුන් කෙරෙහි ඇති ආදරය මව විසින් ළමුන් වෙත සන්නිවේදනය කරන බවද හොඳිනම දැන සිටියේය. මෙලෙස අතීතයේ සිට මව පියාගේ සංවේදීබව ළමුන් වෙත ගෙන යන සංවේනිදකයා බාවට වත්ව සිටියාය.

මෙසේ අනුන් කෙරේ ගෞරවයක් ඇති කිරවීමට උත්සාහ කරන ආදරණීය මවුතුමිය කෙරේ මුළු පවුල් ඒකකයේම ගෞරවය, පූජනීයත්වය, නිරායාසයෙන්ම ගොඩනැගේ. ළමුන්, තම සොඳුරු බිරිඳ සමඟ එකට එක කියනු දුටු විට, පියා ඔව්න්ව කෝටුමස් කරයි. එවිට සියළු දුක් විඳ දරාගන්නා ගන්නා මවු තුමිය මැද්දට පැන, කටකාර ළමුන්ව බේරා ගනී. මෙලෙස ආදරයෙන් හා ගෞරවයෙන් එකිනෙකා හා බැඳුනු පවුල් ක්‍රමයක් අතීතයේ සිට මේ දක්වා තිබී ඇත. මෙකී ක්‍රමය පීතෲ මූලික පවුල් ක්‍රමය කියා හදුන්වනු ලබයි.

නමුත් වර්ථමානය...
වර්ථමාන්යේ බලපවත්නා අර්ථික රටාව හාත්පසින්ම වෙනස් බව කවුරුත් දන්නා කරුණකි. මේ අනුව පීතෲ මූලිකත්වයට හේතු වූ කරුණ වන, පවුල ආර්ථිකය සවිබල ගන්වන කාර්යභාර්ය මවද සමසේ හෝ වැඩිපුර හිස දරයි.

????

ඉතින් අපේ ආදරණීය මවුවරුන් මෙතෙක් ඇයට හිමිවී තිබූ ගෞරවනීයත්වය, පූජනීයත්වය අමතක කර අයිතිවාසිකම් ඉල්ලනවාද ...?
ඉල්ලන්නේ කා හට හිමිව තිබෙන ගෞරවයද ...?
ඇයට මෙතෙක් හිමිව තිබූ ගෞරවය පූජනීයත්වය ඇයට සුදුසු නැද්ද ...?

මෙකී ප්‍රශ්න හමුවේ, පවුල් ක්‍රමය අති අසාර්ථක බටහිර රටවල්වල හැඳුනු කාන්තා විමුක්ති සංවිධාන එම ප්‍රශ්න වලට පිළිතුරු සපයයි.
ඔවුන් අයිතිවාසිකම් ඉල්ලයි ...
ඉල්ලන්නේ පියාට හිමිව තිබූ ගෞරවය ...
මවට හිමිව තිබූ ගෞරවය අනුගාමිකයන්ට මතක් නොවීමට වග බලා ගනී ...

මෙකී සටන් පාට, ක්‍රම උපායන්, පෙරදැරි කොටගෙන කාන්තා විමුක්ති සංවිධාන, පවුලක පරම පරමාර්ථය වන පවුලක් වශයෙන් එකට සිටීම යන්න පවා අමතක කර වෙන්ව හෝ අයිතිවාසිකම් දිනා ගනීමට උත්සාහ කරයි. වෙන්වූ කල පවුලක් නැති බවත්, පවුලක් නැති කල විමුක්තියක් අනවශ්‍ය බවත් අමතක වේ. එපමණක්ද නොවේ , පවුලක් නැති කල තමා හට ගෞරවයක් පිරිනැමීමට කවුරුවත් නැතිබවත්, දිනාගත් අයිතිවාසිකම් බුක්තිවිදීමට පවුලක් නැති බවත් අමතක කර වෙන්වීමේ අයිතිය ඉල්ලාසිටී.

එකිනෙකා කෙරේ පීතෲ මූලික සමාජය තුල හිමිව තිබුනු ස්ථානයේ උස් මිටි කම් තිබුනේ නැත. එම ස්ථානය සෑම විටකම අනන්‍යය ස්ථානයක් විය. පියාට අති ගෞරවය ළමුන් හිත තුළ ඇති වූයේ, පියා විසින් ඔවුන්ව කෝටුමස් කළ දවසේය. මවට අති ගෞරවය ඔවුන් තුළ ඇති වූයේ මව විසින් පියාව වර්ණනා කළ දිනයේය. එයට උපයන මුදල ප්‍රමාණය වැදගත් වූයේ නැත.

රතනෙ මාමගෙ නහරයක් පුපුරල...

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /


කාලෙකින් මූණ දැකපු ආසාවට අම්මගේ ඉහේ මල් පිපිලයි උන්නෙ. ඒ කාගෙවත් නෙවෙයි, රං පුතාගෙ. රං පුතා කොළඹ ඉඳං ගෙදර එන්නේ, කණ කැස්බෑව අත පත ගාල විය සිදුර හොයාගෙන, ඒකෙන් අහස බලන වංගියට.


රං පුතාගෙ අම්ම කාලෙකින් පිපුන තමාගෙ පුතාවත් හිසේ දරාගෙන, පුතාට පිරිත් නූලක් ගැට ගහන්න පංසල් යන ගමනුයි උන්නේ.


"ගමේ දැං මරණයකට වියදං කරන්න මරණාදාර සමිති දෙකක්..."
"ඉතිං හොඳයිනෙ"
"මොන හොඳක්ද,,ඔය ඉස්සරහින් එන රාජ මල්ලිත් දැං අනිත් පැත්තෙ."


එහෙම කියනකොට තමයි රං පුතාට, ගමට සමිති දෙකක් තිබුනට, දැං එක මරණයකට එන්නෙ ගමෙන් භාගයයි කියල තේරුණේ.


සමිති දෙකක් වුනාට මොකද, රාජ මාමා ලං වෙද්දි අම්මට පුතා ගෙදර ආව බව කියන්න කටයි ඔලුවයි දෙකමත් මදි වුනා..


"අක්කා... රතනෙ මාමා ටිකට් කපලා ගෙදර එවල."


රං පුතාට නෑ කමින් සීයා වන රතනෙ වුන්දා පහුගිය දවස් වල ඉස්පිරිතාලෙ වුන්නේ නහරයක් පුපුරලා. සනීප කරන්න අමාරු හින්දද කොහෙද, නහයටයි, කටටයි දෙකටම බට දාල ටිකට් කපල ගෙදර එවල.


රං පුතාට රතනෙ සීයගේ ගෙදර, දර පලන සද්දෙ දෙවටට ගොඩ වෙනකොටම ඇහෙන්න ගත්තා. රතනෙ සීයගෙ ලොකු දූ, කමල නැන්ද, රං පුතාගෙ අම්ම පාරෙ යනව දැකල පාරටම දුවගෙන ආවෙ


"විමල අක්කා..... තාත්ත අපිව දාල යන්න ලැහැස්ති...."


කියල වැලහිනියක් වගේ අඬාගෙන.


ගමෙන් භාගයක් වුනාට මොකද, හේං වල වැඩ ඉවර වෙලා හැන්දැවට ගෙදර ආව, ගමේ වැඩිහිටි පිරිමියෝ ටික, ගෙදර විතරක් නෙවෙයි, දෙවටත් පිරෙන්න එකතු වෙලා.


රං පුතා පහුවදා උදේම කොළඹ එන්න පිටත් වුනා. හැන්දෑ වෙද්දි මහ පාරෙ දුම් පිරිච්ච කාලගෝට්ටිය මැද්දෙන් බෝඩිමට යන පාර හොයාගත්ත රං පුතා, මං එනකං අපේ පෝරිසාදයෝ ටික, බරිය ගෙදර ඉදං එනව කියල බලාගෙන අති, ‍යැයි සිතින් සිතුවේය.


එකෙකුට එකෙක් වෙනස් කාලගෝලයෝ දහ දෙනෙක් රං පුතාගේ බෝඩිමේ ජීවත් වෙති. රං පුතා බෝඩිමට ගොඩ වෙනකොට, එකෙක් එලියට දමා අනෙකුන් දොර වසා ගෙන කෑගසයි. එලියේ ඉන්න එකා භාගෙට සිංහල යොදාගෙන සුද්ද සිංහලෙන් දොර ඇරගැනීමට කෑගසමින් බෝඩිම වටේ දුවයි.


එතකොටම හතර වටේටම බැමි බැඳල තියෙන බෝඩිමේ පිටිපස්සෙ බැම්මෙන්, බෝඩිමේ ජීවත් වුනු අවුරුදු තුනටම, දෙවතාවකට වැඩිය දැක නැති මූනත් තහඩුව, රං පුතාගෙ බෝඩිමට එබුනා.


"ළමයි... අපේ ගෙදර පහුගිය දවස් වල මළගෙදරක්... අද බණ... අදට විතරක් පොඩ්ඩක් කෑනොගහ ඉන්නවද......"


එලියට වෙලා ජාතිය අමතමින් හිටිය කදිර,


"සොරි අන්කල්.... අල්ලපු ගෙදර හිටියට අපි ඒ බව දන්නෙවත් නෑනෙ...."


කියල කියනකොට,
"රතනෙ සීය තවම මැරිලවත් නෑ... ?" කියා රං පුතාට ඉබේටම කියවුනි......






උඩු ගම් ගොහිං...

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /