රතනෙ මාමගෙ නහරයක් පුපුරල...

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /


කාලෙකින් මූණ දැකපු ආසාවට අම්මගේ ඉහේ මල් පිපිලයි උන්නෙ. ඒ කාගෙවත් නෙවෙයි, රං පුතාගෙ. රං පුතා කොළඹ ඉඳං ගෙදර එන්නේ, කණ කැස්බෑව අත පත ගාල විය සිදුර හොයාගෙන, ඒකෙන් අහස බලන වංගියට.


රං පුතාගෙ අම්ම කාලෙකින් පිපුන තමාගෙ පුතාවත් හිසේ දරාගෙන, පුතාට පිරිත් නූලක් ගැට ගහන්න පංසල් යන ගමනුයි උන්නේ.


"ගමේ දැං මරණයකට වියදං කරන්න මරණාදාර සමිති දෙකක්..."
"ඉතිං හොඳයිනෙ"
"මොන හොඳක්ද,,ඔය ඉස්සරහින් එන රාජ මල්ලිත් දැං අනිත් පැත්තෙ."


එහෙම කියනකොට තමයි රං පුතාට, ගමට සමිති දෙකක් තිබුනට, දැං එක මරණයකට එන්නෙ ගමෙන් භාගයයි කියල තේරුණේ.


සමිති දෙකක් වුනාට මොකද, රාජ මාමා ලං වෙද්දි අම්මට පුතා ගෙදර ආව බව කියන්න කටයි ඔලුවයි දෙකමත් මදි වුනා..


"අක්කා... රතනෙ මාමා ටිකට් කපලා ගෙදර එවල."


රං පුතාට නෑ කමින් සීයා වන රතනෙ වුන්දා පහුගිය දවස් වල ඉස්පිරිතාලෙ වුන්නේ නහරයක් පුපුරලා. සනීප කරන්න අමාරු හින්දද කොහෙද, නහයටයි, කටටයි දෙකටම බට දාල ටිකට් කපල ගෙදර එවල.


රං පුතාට රතනෙ සීයගේ ගෙදර, දර පලන සද්දෙ දෙවටට ගොඩ වෙනකොටම ඇහෙන්න ගත්තා. රතනෙ සීයගෙ ලොකු දූ, කමල නැන්ද, රං පුතාගෙ අම්ම පාරෙ යනව දැකල පාරටම දුවගෙන ආවෙ


"විමල අක්කා..... තාත්ත අපිව දාල යන්න ලැහැස්ති...."


කියල වැලහිනියක් වගේ අඬාගෙන.


ගමෙන් භාගයක් වුනාට මොකද, හේං වල වැඩ ඉවර වෙලා හැන්දැවට ගෙදර ආව, ගමේ වැඩිහිටි පිරිමියෝ ටික, ගෙදර විතරක් නෙවෙයි, දෙවටත් පිරෙන්න එකතු වෙලා.


රං පුතා පහුවදා උදේම කොළඹ එන්න පිටත් වුනා. හැන්දෑ වෙද්දි මහ පාරෙ දුම් පිරිච්ච කාලගෝට්ටිය මැද්දෙන් බෝඩිමට යන පාර හොයාගත්ත රං පුතා, මං එනකං අපේ පෝරිසාදයෝ ටික, බරිය ගෙදර ඉදං එනව කියල බලාගෙන අති, ‍යැයි සිතින් සිතුවේය.


එකෙකුට එකෙක් වෙනස් කාලගෝලයෝ දහ දෙනෙක් රං පුතාගේ බෝඩිමේ ජීවත් වෙති. රං පුතා බෝඩිමට ගොඩ වෙනකොට, එකෙක් එලියට දමා අනෙකුන් දොර වසා ගෙන කෑගසයි. එලියේ ඉන්න එකා භාගෙට සිංහල යොදාගෙන සුද්ද සිංහලෙන් දොර ඇරගැනීමට කෑගසමින් බෝඩිම වටේ දුවයි.


එතකොටම හතර වටේටම බැමි බැඳල තියෙන බෝඩිමේ පිටිපස්සෙ බැම්මෙන්, බෝඩිමේ ජීවත් වුනු අවුරුදු තුනටම, දෙවතාවකට වැඩිය දැක නැති මූනත් තහඩුව, රං පුතාගෙ බෝඩිමට එබුනා.


"ළමයි... අපේ ගෙදර පහුගිය දවස් වල මළගෙදරක්... අද බණ... අදට විතරක් පොඩ්ඩක් කෑනොගහ ඉන්නවද......"


එලියට වෙලා ජාතිය අමතමින් හිටිය කදිර,


"සොරි අන්කල්.... අල්ලපු ගෙදර හිටියට අපි ඒ බව දන්නෙවත් නෑනෙ...."


කියල කියනකොට,
"රතනෙ සීය තවම මැරිලවත් නෑ... ?" කියා රං පුතාට ඉබේටම කියවුනි......






3 අදහස්:

සුසිත රවින්ද සෙනරත් said...

එළ එළ මචං පට්ට. උඹ ආවෙ නෑනෙ කළුගෙ තාත්තා නැතිවෙච්ච වෙලාවෙ. ගෙදර වටේ පිටේ ගමේම සෙනඟ පිරිල. ඒකට මහ ලොකුයි කියන කොළඹ. ලඟ ඉන්න එකාගෙ බෙල්ල කපල ගියත් හැරිල බලන්නෙ නෑ.

නිෂ් said...

ඔහොම එකක් අපිටත් උනා
අපි ඉස්සර හිටපු බොඩිමක දානයක් තිබුනා
බණටයි දානෙටයි හිටියේ බොඩිමේ ලමයි ටික ව්තරයි

vidath said...

පට්ට මචන්...එල වචන ටික...

Post a Comment